Website URL:
   Homepage

Accessibility links

     * අන්තර්ගතයට පිවිසෙන්න
     * පිවිසීමට උදව්

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts
     * ඇතුළත් දේ පිළිවෙලින්

   සොයන්න
   News සිංහල 

BBC News සිංහල සොයා යාම

   
   අංශ
   
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

ශ්‍රී ලංකාව තුළ එක රැයින් බිය ජනිත වූ අයුරු

     * 2020 පෙබරවාරි 27

     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * මෙය බෙදාගන්න ඊමේල් 
     * මෙය බෙදාගන්න Facebook 
     * මෙය බෙදාගන්න WhatsApp 
     * මෙය බෙදාගන්න Messenger 
     * මෙය බෙදාගන්න Twitter 
     * යවන්න 
       මෙය බෙදාගන්න
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
          + ඊමේල්
            මෙය බෙදාගන්න ඊමේල් 
          + Facebook
            මෙය බෙදාගන්න Facebook 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Messenger
            මෙය බෙදාගන්න Messenger 
          + Twitter
            මෙය බෙදාගන්න Twitter 
          + WhatsApp
            මෙය බෙදාගන්න WhatsApp 
       මේ යොමුව පිටපත් කරන්න
       https://www.bbc.com/sinhala/sri-lanka-51655622
       මිතුරන්ට යැවීම පිළිබඳ
       බීබීසී යෙන් පිටත අඩවිවල යොමු. එබැවින් වෙනත් පිටුවක් විවෘත වේ
       (BUTTON) බෙදාගැනීමේ පැනලය වහන්න

   Image caption සන්ධ්‍යා එක්නැලිගොඩ

   ශ්‍රී ලංකාවේ දේශපාලන කාටූන් නිර්මාණ ශිල්පියෙකු වූ සිය සැමියාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරවා ගැනීමට සන්ධ්‍යා එක්නැලිගොඩට වසර ගණනාවක් බලා සිටීමට සිදුවිය. එහෙත්, පසුගිය නොවැම්බරයේදී විශාල බහුතරයකින් නව ජනාධිපතිවරයෙකු පත් වීම සහ ඇයගේ සැමියාගේ අතුරුදහන්වීම විමර්ශනය කළ ප්‍රධාන නිලධාරියෙකු මාරු කර යැවීමත් සමඟ තත්ත්වය වෙනස් විය හැකි බව ඇයට වැටහිණ.

   දේශපාලනික හැරවුම් ලක්ෂයක වෙනත් පැතිකඩක් පිළිබඳව බීබීසී පුවත් සේවයේ අන්බරසන් එතිරාජන් ඉදිරිපත් කරන වාර්තාවකි, මේ.

   කොළඹින් පිටත පිහිටි ඇගේ නිවසේදී අපගේ සංවාදයට පැයක් පමණ ගත වූ විට, සන්ධ්‍යා එක්නැලිගොඩ නිවසින් පිටතට දෙනෙත් හෙළුවාය.

   "මේ වෙනකොට පොලිසියට දැනුම් දීල ඇති ඔයා මෙහෙ ඇවිත් මාත් එක්ක කතා කරනවා කියලා," ඇය එසේ පැවසුවේ උපහාසය මුසු සිනහවක් නගමිනි.

   ඇය සිතන්නේ නිරන්තරයෙන් ඇය දෙස විමසිල්ලෙන් පසුවන බවය. ඒ, ශ්‍රී ලංකාවේ නව දේශපාලනික පරිසරය තුළ ඇය උල් කටුවක් වන හෙයිනි. නිසැක වශයෙන් ම ආණ්ඩුවක් වෙනස් වීම යනු බොහෝ දෙනෙකුට පැවති තත්ත්වය සැලකිය යුතු ආකාරයෙන් වෙනස් වීමකි.
     * ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී දස වසරක්
     * ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන හමුදාපතිට ලිපියක්

පිරිසකට පීඩනයක් වූ ජයග්‍රහණයක්

   2019 වසරේ නොවැම්බර් 16 වන දා පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ පහසු ජයක් අත්පත් කර ගත්තේය.

   නව ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයින් හොඳින් දන්නා හඳුනන තැනැත්තෙකි. මීට දශකයකට ඉහතදී, ඔහු සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ආරක්ෂක හමුදා සහ දෙමළ බෙදුම්වාදීන් සමග පැවති සිවිල් යුද්ධයේ රුදුරු අවසානය අධීක්ෂණය කළේය.

   එය, සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සහ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් ආදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ දෙපාර්ශවයම චෝදනාවලට ලක් වූ යුද්ධයකි.

   සන්ධ්‍යා එක්නැලිගොඩගේ සැමියා ද එලෙස අතුරුදන් වූවන්ගෙන් අයෙකි.
   Image copyright Getty Images Image caption ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ දෙසොහොයුරන් ශ්‍රී ලංකාවේ බලවත් ම තනතුරු දෙක හොබවති

   ප්‍රගීත් එක්නැලිගොඩ මහින්ද රාජපක්ෂ නිර්දය ලෙස විවේචනය කළ කාටූන් ශිල්පියෙකි. යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු 2010 වසරේ මුල භාගයේ දිනයක ඔහු සිය නිවසින් පිටවී ගිය ද යළි පැමිණියේ නැත.

   ඊට මාස 6කට පමණ පෙර සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු පැහැරගෙන ගොස් ප්‍රශ්න කර තිබිණි. එම වකවානුවේ සිදුවූ අනෙකුත් අතුරුදන්වීම්වලට එය සමාන විය. ඔහු සිය පවුලේ සාමාජිකයින්ට පවසා තිබුණේ, ඔහු පැහැරගෙන ගිය පිරිස කවුරුන් යටතේ වැඩ කරන්නේ ද යන්න තමන් දන්නා බවය.

   රාජපක්ෂ සොහොයුරන් යළිත් බලයට පැමිණීමෙන් පසු පැරණි තුවාල සහ එදිරිවාදිකම් යළිත් අලුත් වනු ඇතැයි බොහෝ දෙනෙකු බියෙන් පසුවුව ද, ඒ අතරින් බොහෝ දෙනා ඒ පිළිබඳව අදහස් පළ කිරීමට බියකින් පසුවෙති.

   එහෙත්, සන්ධ්‍යා එක්නැලිගොඩ එම සීමාවන් ඉක්මවා යමින් ඇයගේ සැමියාගේ අතුරුදන්වීම ලොව පුරා ශීර්ෂ පාඨයක් බවට පත් කිරීමට සමත් වූවාය.

   ඇය පවසන පරිදි, සිය සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් ආරම්භ කෙරුණේ, 2015 වසරේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමෙන් පසුව බිහිවූ ආණ්ඩුව මගිනි. එම විමර්ශනය මෙහෙයවන ලද්දේ, එවකට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ (CID) අධ්‍යක්ෂවරයා වූ ෂානි අබේසේකරය. සිය සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධ ලිපිගොනු සහ සාක්ෂි පෞද්ගලිකව භාර දුන්නේ, ඔහු වෙතය.
   [p084zxd7.jpg]
   ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
   ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස අනතුරක ද?

   ගෝඨාභය රාජපක්ෂ නැවත බලයට පත්වූ ජනාධිපතිවරණයෙන් දින 11 කට පසු, පසුගිය නොවැම්බරයේදී හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අවසානයේදී චෝදනා ගොනු කෙරිණි.
     * ප්‍රගීත් පැහැර ගැනීම: 'බුද්ධි අංශ සම්බන්ධ බවට සාක්ෂි' 

   එම චූදිත නිලධාරීන් ගිරිතලේ යුද්ධ හමුදා කඳවුර ආශ්‍රිතව ක්‍රියාත්මක වූ රහසිගත ඒකකයකට අයත් බවට සැක කෙරිණි. විමර්ශන නිලධාරීන් විශ්වාස කරන්නේ, ප්‍රගීත් එක්නැලිගොඩ එම කඳවුර වෙත රැගෙන විත් තිබෙන බවය.
   Image caption ජනවාරි මාසයේදී ෂානි අබේසේකර ඔහු දැරූ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයෙන් පහ කෙරිණි

   එහෙත්, සැකකරුවන් 9 දෙනාට එරෙහි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව පවා සියල්ල වෙනස් විය.

   "මේ වෙනකොටත් ප්‍රධාන සැකකරු ඇප මත මුදා හැරල තියෙනවා. සිද්ධිය ගැන විමර්ශනය කරපු පොලිස් නිලධාරීන් මාරු කරල තියෙනවා. අපේ පවුල ගැන නිරීක්ෂණය කරන එක නම් වැඩි වෙලා," සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසීය. නව රජය එම නිරීක්ෂණය කිරීම් පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

   ජනාධිපතිවරණය නිමවී සතියක් ඇතුළත ෂානි අබේසේකරට පවා ස්ථාන මාරුවක් ලබා දුන් අතර, එය පැහැදිලි ලෙස ම සේවයෙන් පහත දැමීමක් විය.

   "දැන් නම් මට සාධාරණයක් ඉෂ්ට වෙයි කියල කිසි ම බලාපොරොත්තුවක් නෑ," සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසීය.

පැරණි හමුදා මිතුරන් 'නිදොස් කිරීම'

   විවිධ ආයතනවල ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් පුරා පැවති ගැටුම් අතරතුර ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ අතුරුදන් වී තිබේ. ඒ අතර, දෙමළ වැසියන්, අයිතිවාසිකම් ක්‍රියාකාරීන්, ආණ්ඩු විවේචකයින් සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි යුද්ධ කලාපයෙන් පිටත සේවය කළ මාධ්‍යවේදීහු ද වෙති. මෙම දළ ඇස්තමේන්තුවලට හමුදා සාමාජිකයින් 5,000ක් පමණ ද ඇතුළත් වෙති.
   Image copyright AFP

   එහෙත්, යුද අපරාධ සහ බලහත්කාරයෙන් අතුරුදන්වීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා යුද්ධයෙන් පසු රජය විසින් පිහිටුවන ලද කොමිෂන් සභා බොහෝ දෙනා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, තීව්‍ර වන ජාත්‍යන්තර පීඩනය මග හැරීමට දරන උත්සහයට වඩා වැඩි යමක් ඉන් ඉටු නොවන බව පවසමිනි.

   කිසිදු අතුරුදන්වීමකට කිසිදු ආකාරයකින් තමන් සම්බන්ධ වී නොමැති බව පසුගිය වසරේදී බීබීසී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ තරයේ කියා සිටියේය. අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම්, යුද්ධ අපරාධ සම්බන්ධ චෝදනා නිරන්තරයෙන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන රාජපක්ෂ පාලනය, ඒ වෙනුවට කැරලිකරුවන්ට චෝදනා කරයි.

   යළිත් බලයට පත්වූ ආණ්ඩුව එම චෝදනා හමුදා සාමාජිකයින්ට එරෙහිව එල්ල කරන අභූත චෝදනා ලෙසට ලඝු කරමින් සිටී.

   එම ස්ථාවරයට සංවේදී වන, දිගු කාලීන රුදුරු ගැටුමක් වෙනුවෙන් සිය දරුවන් යැවූ රටේ වැඩි පිරිසකගේ මතය වී තිබෙන්නේ ඉහත කී චෝදනා හමුවේ සිය දරුවන්ට අපවාද විඳින්නට සිදු වී ඇති බවය.

   දකුණේ සිංහල වැසියන් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල නිරන්තරයෙන් ඇසුණු ගෝඨාභය රාජපක්ෂගේ එක් පොරොන්දුවක් වූයේ, "සැකසූ චෝදනාවන්" ලෙසින් ඔවුන් හඳුන්වන මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාවලට ලක්ව සිටින සියලු සොල්දාදුවන් නිදහස් කර පුනරුත්ථාපනය කිරීමය.

   නව ආණ්ඩුව එම පොරොන්දුව ඉටු කිරීමට මඳකුදු ප්‍රමාද නොවීය.

   2008-2009 කාලයේ කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියෙකු සහ තවත් 13 දෙනෙකු ජනවාරි මාසයේදී ඇප මත මුදා හැරිණි.

   එලෙස මුදා හැරුණු එක් චූදිතයෙකු වන කොමදෝරු ඩී කේ පී දසනායක, සති කිහිපයකට පසු රියර් අද්මිරාල් ධූරයට උසස් කරන ලදි.

   තමන්ට එරෙහි සියලු චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.
   [p0795t4l.jpg]
   ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
   ආරක්ෂක හමුදා දෙමළ බෙදුම්වාදීන් පරාජය කළේය

   මේ අතර, සිවිල් සහ හමුදා නිලධාරීන් පසුගිය රජයේ දේශපාලනික පළිගැනීම්වලට ලක්වූයේ ද? යන්න සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිසම විසින් ඉහත කී නඩුව අත්හිටුවන ලෙසට නිර්දේශයක් නිකුත් කළේය.

   ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, අදාළ නඩුව සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් නිකුත් කිරීමට නීතිමය හැකියාවක් කොමිසමට නොමැති අතර නඩුව ඉදිරියට ගෙන යුතු බවය.

   සන්ධ්‍යා එක්නැලිගොඩ වැනි අයට ආණ්ඩුව යන මාර්ගය පැහැදිලිය. ඇය මෙන් ම වෙනත් විවේචකයින් ද චෝදනා කරන්නේ, කුමන වරදකට චෝදනා ලබා සිටිය ද ආණ්ඩුව සිය පැරණි මිතුරන් නිදොස් කරමින් සිටින බවටය.

'සතුරු' දෙපාර්තමේන්තුවක් විසුරුවා හැරියා ද?

   ශ්‍රී ලංකාවේ පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම හිටපු පොලිස් නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙකුගේ විමතියට හේතු විය.

   පොලිස් දෙපාර්තමේන්තුවෙන් යම් පමණකට ස්වාධීනව ක්‍රියාත්මක වන ඒකකයක් ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට බඳවා ගැනෙන්නේ ඝාතන, මූල්‍ය වංචා සහ බරපතළ ගණයේ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ හැකි ඉහළ දක්ෂතා සහිත විමර්ශන නිලධාරීන්ය. එහි සිටි නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් එම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ විශේෂඥයින් පිරිසක් වූහ.
   Image copyright AFP

   එය, දැවැන්ත පුද්ගලයින් ඉලක්ක කිරීමට බිය නොවීම නිසා හොඳ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට පටන් ගත් දෙපාර්තමේන්තුවක් විය.

   ජනාධිපතිවරණයෙන් දින කිහිපයකට පසුව ෂානි අබේසේකර යටතේ සේවය කළ නිශාන්ත ද සිල්වාට ආරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළා යාමට සිදුවිය. ඔහු විදෙස්ගත වීම සම්බන්ධයෙන් කෝපාවිෂ්ට වූ ආණ්ඩුව, එසැණින් ක්‍රියා කළේ, 700කට අධික අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කිරීමටය.

   පසුව ජනවාරි මාසයේදී ෂානි අබේසේකර ඔහු දැරූ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධූරයෙන් පහ කෙරිණි. ඒ, 2011 වසරේදී මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ දේශපාලන සංවේදී ඝාතන සිද්ධියක් පිළිබඳව හිටපු අමාත්‍යවරයෙකු සමග කළ බව කියන දුරකතන සංවාදයක් සැලකිල්ලට ගනිමිනි.

   දැනට විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂයට වාසිදායක දේශපාලනික මෙහෙයුම්වල නිරත වූ බවට රහස් පොලිසියට චෝදනා කළ ආණ්ඩුව, ඔවුන් වෙනුවට වෙනත් අය පත්වනු ඇති බව පැවසීය.

   "සමහරු ඇතැම් පරීක්ෂණවලදී පක්ෂග්‍රාහීව ක්‍රියා කරල තියෙන්න පුළුවන්," මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙකු වන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු බීබීසී පුවත් සේවයට පැවසීය. "ඒ පිරිස (ඔවුන්ගේ තනතුරුවල) දීර්ඝ කාලයක් තියාගන්න බැහැ. "

   රහස් පොලිසිය විසින් විමර්ශනය කරන ලද සිද්ධි දෙස බැලීමෙන් ඒ හරහා නව රජයට ඇති අවදානම කුමක් ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය.

   ෂානි අබේසේකර සහ නිශාන්ත ද සිල්වා ලෝකයේ ම ශීර්ෂපාඨ බවට පත්ව තිබූ සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළහ. එම විමර්ශන අතර 2009 වසරේදී නාඳුනන පිරිසක් විසින් මහමගදී ඝාතනය කරන ලද පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබද විමර්ශනය ද විය.

   රාජපක්ෂ පාලනයේ නිර්දය විවේචකයෙකු වූ ලසන්ත වික්‍රමතුංග, එම වකවානුවේ ආරක්ෂක ගනුදෙනුවල දී සිදුවූ බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් වාර්තා කළේය.

   එක්නැලිගොඩ අතුරුදන්වීමේ විමර්ශනය සේ ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ විමර්ශනය ද 2015දී යළිත් ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. 2016 වසරේදී අදාළ සිද්ධියට තමන් වගකිව යුතු බවත් සෙසු පිරිස නිර්දෝෂී බවත් සඳහන් කරමින් විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියෙකු සටහනක් තබා සිය දිවි නසා ගත් බවට දේශීය මාධ්‍ය වාර්තාවල පළවූ විට එම
   විමර්ශන සම්බන්ධයෙන් අඳුරු ආපසු හැරීමක් සිදු විය.

   'ද නේෂන්' පුවත්පතේ සහකාර කර්තෘවරයාව සිටි කීත් නොයාර්ට පහර දී පැහැරගෙන යාම තවත් සිද්ධියකි. 2015 වසරේ මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමෙන් පසු නව ආණ්ඩුවක් බිහිවීමෙන් පසුව රහස් පොලිසිය කළ විමර්ශනවලදී මේජර් ජනරාල්වරයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එම නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

   මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පවසන්නේ, ඔවුන්ට යම් අවිනිශ්චිත හැඟීමක් දැනෙන බවය.
   Image copyright Getty Images

   "මාධ්‍යවේදීන් අතර ස්වයං වාරණ තත්ත්වයක් දකින්න ලැබෙනවා. හැමෝ ම පසුගාමී තත්ත්වයක ඉන්නේ," ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂවරුන් විවේචනය කළ Newshub වෙබ් අඩවියේ ගිහාන් නිකලස් පැවසීය.

   ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි වහා ම ඔවුන්ගේ කාර්යාලය පොලිසිය විසින් සෝදිසි කරන ලදී.

   ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ, අදාළ පොලිස් සෝදිසි කිරීමේ සිද්ධියට ආණ්ඩුවේ සම්බන්ධයක් ඇතැයි තමන් "නොදැන සිටි" බවය. රාජපක්ෂ සහෝදරයින්ට එරෙහි ඉහළ පෙළේ නඩු සඳහා දැන් නිසි නීතිමය පරීක්ෂණ සිදු නොකරනු ඇති බවට පළ වන අදහස් ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

   "අපි කිසිම ආකාරයකින් අධිකරණයට මැදිහත් වෙන්නේ නෑ. අධිකරණය ඔවුන්ට අවශ්‍ය පරිදි ඒ නඩු විභාග කරයි. කිසි ම නීතිමය දේකට අත පොවන්න අපේ අදහසක් නෑ," ආණ්ඩුවේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී පුවත් සේවයට පැවසීය.

අතුරුදන්වූවන් පිළිබඳ තත්ත්වය කෙබඳු ද?

   එහෙත්, තවමත් සිය ආදරණීයයන් යළි එතැයි අපේක්ෂාවෙන් බලා සිටින පිරිසට කුමක් වේ ද? සිය ගැටලු ගැන හඬක් නැගිය හැකි කතුවරුන් සහ කාටූන් ශිල්පීන් නොව, යුද්ධ ප්‍රචණ්ඩත්වය දරුණුතම ලෙසින් පැවති උතුරේ මව්වරුන්ට සහ භාර්යාවන්ට ලැබෙන පිළිතුර කුමක් ද?

   දෙමළ පවුල් සිය ගණනක්, ඇතැම් විට දහස් ගණනක් පවසන්නේ, සිය ඥාතීන් යුද්ධ හමුදාවට භාර වීමෙන් පසු ඔවුන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් දැන ගන්නට නොලැබුණු බවය.

   කිලිනොච්චි නගරය ආසන්නයේ වෙසෙන මහලු දෙමළ කාන්තාවක වන කන්දසාමි පොන්නම්මා තවත් බොහෝ දෙනෙකු මෙන් ම තවමත් පිළිතුරක් අපේක්ෂාවෙන් බලා සිටින්නීය.

   "මගේ පුතායි, ලේලියි, මුණුපුරෝ දෙන්නයි භාර වුණාට පස්සෙ හමුදාවෙ කට්ටිය ඒගොල්ලන්ව බස් එකක දාගෙන ගියා. මම තාමත් දන්නෙ නෑ ඒගොල්ලො කොහේ ඉන්නව ද? ඒ ගොල්ලන්ට මොක ද වුණේ? කියලා," පොන්නම්මා පැවසීය.

   වසර ගණනාවක් පුරා එල්ල වූ ජාත්‍යන්තර පීඩනය හමුවේ 2018 වසරේදී පිහිටවූ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය කෙරෙහි ඔවුහු බලාපොරොත්තු තබා සිටියහ. එහෙත්, එම කාර්යාලය සිය කටයුතු ආරම්භ කළා පමණි - ජනාධිපතිවරණයෙන් පසුව එහි අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිතබවක් දක්නට ලැබේ.
   Image caption කන්දසාමි පොන්නම්මා

   "අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සමග වැඩ කරන මානව හිමිකම් කණ්ඩායම්වලට මේ වෙනකොටත් පීඩන එල්ල වෙලා තියෙන්නේ. හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෝ ඔවුන්ගේ කාර්යාලවලට ගිහින් ඔවුන්ට මුදල් ලැබෙන්නේ කොහෙන් ද කියල ප්‍රශ්න කරල තියෙනවා," නම හෙළි කිරීමට අකමැති ක්‍රියාකාරිකයෙක් පැවසීය.

   යුද්ධය අවසානයේ හමුදාවට යටත් වූවන් ඝාතනය කළ බවට එල්ල වන චෝදනා ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි. එහෙත්, අතුරුදන් වූවන්ගෙන් වැඩි දෙනෙකු මියගොස් ඇති බවට ඔහු ජනවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හමුවේ කළ ප්‍රකාශය හේතුවෙන් යම් ව්‍යාකූලත්වයක් මතු විය.
     * අතුරුදහන් වූවන් මරණයට පත් වෙලා - ගෝඨාභය රාජපක්ෂ 

   කෝපය සහ විරෝධය උත්සන්න වීමත් සමඟ, අතුරුදන් වූ සිවිල් වැසියන්ගෙන් බහුතරය දෙමළ බෙදුම්වාදීන් විසින් බලහත්කාරයෙන් බඳවා ගනු ලැබ ඇතැයි පවසමින් බලධාරීහු එම ප්‍රකාශය වෙනස් කළහ.

   එහෙත් මාධ්‍යවේදීන් අතුරුදන් වීම සහ ඝාතනය කිරීම, තරුණයන් පැහැරගෙන යාම හෝ යුද්ධය අවසන් වන විට සටනට හසු වූ දහස් ගණන් දෙමළ ජනයාගේ ඉරණම එය ද? යන්න - ආණ්ඩුවට මග හැර යා හැකි ප්‍රශ්නයක් නොවේ. තවමත් ඔවුන්ගේ ඥාතීන් දහස් ගණනක් එම ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටිති.

   පසුගිය පරිපාලනය තුළ වසර ගණනාවක් පැවති අභ්‍යන්තර ගැටුම්වලින් පසු දේශපාලන ස්ථාවරත්වයක් ගෙන ඒම පිළිබඳව ප්‍රශංසාව හිමි කර ගත් ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය වී ඇත්තේ, රට තුළ නව පරිච්ඡේදයක් ආරම්භ කර සංවර්ධනය හා ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීමය.

   එහෙත්, මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, අතීතයේ අවතාර සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවී අනාගතය දෙස බැලීම දුෂ්කර බවය.

   මේ අතර, තම ස්වාමි පුරුෂයා අතුරුදන් කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහි නඩුව අඛණ්ඩව ඉදිරියට යන බැවින්, තම ස්වාමි පුරුෂයා තවදුරටත් ජීවතුන් අතර නැති බව පමණක් උපකල්පනය කළ හැකි සන්ධ්‍යා එක්නැලිගොඩට තවදුරටත් කරුණු විමසමින් බලා සිටීමට සිදුවනු ඇත.

සබැඳි විෂයයන්

     * සිංහල
     * මානව හිමිකම්
     * ශ්‍රී ලංකාව
     * පොදුජන පෙරමුණ 
     * සිවිල් යුද්ධය
     * දෙමළ
     * ජනාධිපතිවරණය 2019 

මේ පුවත යවන්න මිතුරන්ට යැවීම පිළිබඳ

     * ඊමේල් 
     * Facebook 
     * Messenger 
     * Messenger 
     * Twitter 
     * WhatsApp 

   යලිත් උඩට 

BBC News සිංහල සොයා යාම

   අංශ
     * මුල් පිටුව 
     * ශ්‍රී ලංකා 
     * ලෝකය 
     * විශේෂාංග 

බී.බී.සිය සොයා යාම

     * News
     * Sport
     * Weather
     * Radio
     * Arts

     * භාවිතය පිලිබඳ කොන්දේසි
     * බී බී සි ය පිළිබඳව
     * රහස්‍ය බව පිලිබඳ පිලිවෙත
     * කුකීස්
     * පිවිසීමට උදව්
     * දෙමාපිය මග පෙන්වීම්
     * බීබීසී ය අමතන්න
     * Get Personalised Newsletters

   Copyright © 2020 බී.බී.සී. බාහිර අඩවිවල අන්තර්ගතය සම්බන්ධයෙන් බීබීසියේ වගකීමක් නොමැත. බාහිර යොමු පිලිබඳ ප්‍රතිපත්තිය.